Friday, October 21, 2011

සයනයද දිවා කල පියාණන් රියසක,

වීදෝ නුඹ හිසට
උඩු අහස නිල් වියන,
වීදෝ නුඹ පයට
පාවඩය………………
කලු වනින් වසා ගත්
ගෙන්දගම් දූලි විසිරුනු
මහපොළොව,
සයනයද දිවා කල
හස පෙඳ පුලුන් දැවටු
කඩදාසි ඇතිරිල්ල ඇතිරූ ……….
පියාණන් රියසක,
සරි කෙරුව බඩ වියත
බඩු මුට්ටු පිටි මුට්ට
මහ බරක් පටවගෙන
චිරි චිරිය හඬ නගන්
දෙබෑ කරමින් දිව්ව ,
මඩ පැහැති කිරි සයුර…………..
සිප් හළද මේ නුවර ,
සියොළඟ'හි විෂ සරන
ඔද තෙදැති රුපු සරන
අයනු ආයනු රාව නොනැගෙන
කිසිදාක නොපැමිණි ,
සාම අමර ලා සල් මල සොයා………………

Thursday, October 6, 2011

වෙඩි බිමේ වැටුනු කවියාගේ රුහිරු............



ගහ කොලට නිල් දියට
රළ හඬන පෙණ පිපෙණ වැලි තල වලට
පෙම් කෙරුව මිනිසා…………………
සම වැදී  ලොව තුලම දැහැනින්
පන්හිඳෙන් දිවි කඳුලු වැගිරූ මිතුරා.................
අපම අප වෙනුවෙන් ,
මියැදිලා වෙඩි බිමේ …………………
පණ ගැහෙන හදවතින්….


ගැහෙන ගැහෙනා හද පුරා……..
පිපුණු මල් නියඟලා
ගිලිහිලා පෙති වියැකිලා………………
මුල් අදී සිත තුල ,සොඳුරු සිත ඉරි තලා......

කටු ඇනෙන මල් පිපෙන රළු පොලොව
සිහිලස පිරුණු………….
පහස විඳි පා යුගත්,
වසාගෙන හම් කවර
නොදැනෙන්න හද ගැස්ම
මිහි මවුන් වැළපෙනා………………..

සමනොලුන් සියොතුන්
මුව ගෝන ඈ වනසතුන් ……………
සොයා ලුහු බැන්ද දෙනෙතක්,
වන පෙතේ.....
අවදියෙන් පිලිබඳව
වෙනම ඇදුමක සැගවුනු
එකම හඬකට ගැහෙන හදවත්…………………

නැගී හිඳියද පා මතින්
දැදුරු වී හද …………….
නික්මෙච්ච වෙඩි උණ්ඩයෙන්,
නුහුරු අතකට සියත රැඳි ගිනි දුන්නකින් ……………
ගලා බසිනා රුහිරු දළ රළ
ප්‍රකම්පනයෙන්,
රාව නංවයි ගීතිකා …..
සංතාපයේ පසුතැවිලි හඬකින………………………………..